මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා…

සම්මා සම්බුදුරජාණන්වහන්සේ ගිහිගෙය අතහැර ගියේ ජාති, ජරා, මරණාදී දුකෙන් නිදහස් වීමටයි. නමුත් බුදුහිමියෝ ජරාවට පත්වූ සේක. එවිට ඒවායින් අත්මිදුනායැයි පවසන්නේ කෙසේද?
බුදුහිමියෝ කයෙන් වයසට ගියාට, ලෙඩ උනාට සිත එසේ වූයේ නැත. බුදුහිමියෝ නකුල පිතාටත් දේශනා කලේ කය ලෙඩ වූවාට සිත ලෙඩ නොකරගන්නා ලෙසයි.

බුදු දහමට අනුව ජරා, මරණාදියෙන් නිදහස් විය යුත්තේ කය නොව සිතයි. බුදු දහම යනු මනෝ මූලික දහමක් මිස නිගණ්ඨනාථපුත්තගේ දහම මෙන් කාය මූලික දහමක් නොවේ.

නිගණ්ඨනාථපුත්ත පැවසූයේ විමුක්තිය සෙවීමේදි මූලික වන්නේ කය බවයි. එය කාය දණ්ඩ හෙවත් කය හික්මවිම ලෙස හැදින්වේ. ඔහු ඇදුම් පවා ප්‍රතික්ෂේප කළේ එහෙයිනි. එවිට ඔහු පැවසූයේ තමා සියලු ගැට වලින් නිදහස් වන බවයි. (ගැට නැති = නි ගණ්ඨ)

බුදුහිමියෝ සෑම විටම දේශනා කළේ අන්ත දෙක අහරින ලෙසය. එම බුද්ධ දේශනාව මනාව අනුගමනය කළ උපාසිකාවක් ලෙස විශාකාව දැක්විය හැකිය. ඇයගේ මහා අනර්ගවූ මේල පළඳනාව පැළඳීම ප්‍රතික්ෂේප නොකළේ ඇය අත්ථකිලමතානුයෝගයෙන් බැහැර වී සිටි නිසාය. එසේම ඇයට එය නැවත විහාරයෙන් එනවිට ගෙන ඒමට අමතක වූයේ, ඇය ඒ කෙරෙහි නොඇලී සිටි නිසාය. එනම් කාමසුඛල්ලිකානුයෝගයෙන් බැහැර වීම නිසාය.

ලොවෙහි ඇත්තේ ද්විතාවයකි. එයින් මිදුණු තැන නම් නිවනයි. කුසල් නොමැති විට දිව්‍ය ලෝකාදියෙන් අපව ප්‍රතික්ෂේප කරයි. අකුසල් නොමැතිවිට අපව නිරයෙන්ද ප්‍රතික්ෂේප කරයි. එසේ අපට යාමට තැනක් නොමැති වීම යනුවෙන් අදහස් වනුයේ නිවනට පත් වීමයි. එනම් අප සියළු සංස්කාර ප්‍රහාණය කොට ඇති බවයි.

ධර්ම පර්යාය දැනගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. දැනගත යුත්තේ විමුක්ති මාර්ගයයි. ඒ සඳහා අප කළයුත්තේ සතර සතිපට්ඨානය යන ඒකායන මාර්ගය ප්‍රගුණ කිරීම හෙවත් වර්තමාන ඉරියව්ව පිළිබඳව සිහියෙන් සිටීමයි.

බුදුදහම සැමවිටම සිදුකරනුයේ පටිසෝතගාමී හෙවත් සාමාන්‍ය ලෝකයා දකින දෙයෙහි විරුද්ධ පැත්ත දැකීමයි. මිනිසුන් ලෙඩ වූ විට එය අමතක කිරීමට කැමති වූවත් අප කළ යුත්තේ එයම මෙනෙහි කිරීමයි.

වයස යනු සාපෙක්ෂ දෙයකි. නිදසුනක් ලෙස, වසර පහකට ඇති දින ගණන එක් වසරක් ලෙස සැළකුවහොත් සාමන්‍ය ලෙස අවුරුදු හතළිහක් වයස පුද්ගලයාගේ වයස අවුරුදු 8කි. මේ අනුව පෙනී යන්නේ ලොව ගොඩනගා ගෙන ඇති සෑම සම්මුතියක්ම සාපේක්ෂතාවයෙන් යුතු බවයි.

උදා : ඇත – නැත, හොඳ – නරක, ලස්සන – අවලස්සන

ලස්සනක් ඇත්තේ අවලස්සන දෑ ද ඇති නිසාය.

නඛසිඛ සූත්‍රයේදී බුදුහිමියෝ දේශනා කළේ මේ ලෝක සත්වයා මහපොළොවට උපමා කළහොත් එයින් නිය අගට ගත් පස් ප්‍රමාණයක් හැර ඉතිරි මහපොළොව තරම් වූ ලෝකයම මරණින් මතු යන්නේ දුගතියට බවයි.

බුදුදහමෙහි සෑම විටම දේශනා කරනුයේ, කය සම්මුතියට අනුව හසුරුවා සිත සම්මුතියෙන් බැහැර කළ යුතුබවයි. නමුත් බොහෝවිට අප සිදුකරන්නේම කයෙන්ම සම්මුතීන් කඩකරමින් සිත සම්මුතීන්ට කොටු කර තැබීමයි. ස්වාමින්වහන්සේලාට වඳිනවා යැයි අප වඳින්නේ බාහිර රුපයට නොව අපි සිතින් මවාගත් හැඩතල වලටය. අප ජීවත් වන්නේම අප සිතින් මවාගත් හැඩතල සමඟයි.

මරණය ගවේශණය කළ තරමට අම අමරණීය වේ. අප මරණයට බිය නොවිය යුතුය. මර්ණයට බි‍ය නොවේ නම් ලොවෙහි අපට බිය වීමට කිසිදු යමක් ඉතිරි නොවේ. ක්තරම් ජීවිතය සෙවූවත් අපට මරණය වැළැක්විය නොහැක.

දැණුම පමණක් ළං කරගත් නමුත් ප්‍රායෝගිකව එය යොදා නොගන්නා පුද්ගලයා අනුන්ගේ ගවයන් බලා ගන්නකු මෙන් තමාට අර්ථයක් සිදුකර නොගනී. එය ධම්මපද ගාථාවක සඳහන්වන්නේ මෙසේය :

“බහුම්පි චේ සහිතං භාසමානෝ
න් තක්කරෝ හෝති නරෝ පමත්තෝ
ගෝපෝ ව ගාවෝ ගණයං පරේසං
න භාගවා සාමඤ්ඤස්ස හෝති”

අර්ථය : බොහෝ වශයෙන් බුද්ධ වචනය කියන්නේ නමුදු ඒ අනුව නොහැසිරෙන ප්‍රමාද වූ පුද්ගලයා අනුන්ගේ ගවයන් ගණිමින් බලාගන්නා ගොපල්ලෙකු බඳුය. ඔහු කිසිවිටෙකත් මහණකමේ ප්‍රතිඵල නොලබයි.

චන්න ඇමතියා පැවිදි වී පුරසාරම් කියමින් අනෙකුත් ස්වාමීන්වහන්සේලාගෙන් ධර්මය ඇසීම ප්‍රතික්ෂේප කර සිටින විට, බුදුහිමියෝ උන්වහන්සේට බ්‍රහ්ම දණ්ඩනය පැනවූ සේක. බුදුහිමියන් පිරිනිවන් පෑවාටත් පසුව චන්න හිමියන්ට තවදුරටත් මෙය ඉවසීමට නොහැකිවූ තැන ආනන්ද හිමියන් වෙත ගොස් බැගෑපත්ව ධර්මය කියාදෙන ලෙස ඉල්ලා සිටියහ. එවිට ආනන්ද හිමියෝ උන්වහන්සේට සම්මාදිට්ඨි සූත්‍රය පැහැදිළි කරමින් කියා සිටියේ මෙය බුදුරජාණන්වහන්සේ විසින් කච්චායන ගුත්ත බ්‍රාහ්මණයාට පෙරදී දේශනා කරන ලද්දක් බවයි. එහිදී පැහැදිළි කෙරුණේ නිවන් දැකීමට ඇති එකම මාර්ගය නම් සතර සතිපට්ඨානයෙන් සිටීම බවයි. එනම්, වර්ථමාන ඉරියව්ව පිළිබඳව සිහියෙන් යුතුව අනාගතය හා අතීතය මෙනෙහි නොකරමින් ජීවත් විය යුතු බවයි.

අප දුක සහ සැප යන අන්ත දෙක සිතින් අතහැරියත් කයින් ඒවා භාරගත යුතුයි. නමුත් සාමාන්‍යයෙන් අප කරන්නේ අන්ත දෙක සිතින් අල්ලාගෙන කයින් දුක භාර ගැනීම ප්‍රතික්ෂේප කිරිමයි. එය බුදුදහමට පටහැනිය.
අප ජීවත්විය යුත්තේ බලාපොරොත්තු රහිතව ය. බැලුම් වලින් සැකසූ තොරණක් සැළකූ විට, එහි බැලුම් නොපිපිරී තිබේවා යැයි ප්‍රාර්ථනය කරමින් සිටින විට බැලුමක් පිපිරුනොත් අපට ඇතිවන්නේ දුකකි. නමුත් මේ බැලුම නොපිපිරී තිබේවා යැයි බලාපොරොත්තු නොවී සිටියහොත් අපට කිසිදු දුකක් ඇති නොවේ. අප ලොවෙහි ඇති ඕනෑම දෙයක් දුකක් ලෙසින් භාර නොගෙන, අකමැති දෙයක් සිදුවුවත් එසේ වීමත් හොඳ යැයි සිතා සිත ප්‍රීතිමත් ව සැහැල්ලුවෙන් තබාගත යුතුයි.

කියවීම්